අතීත සිංහලයාට ස්‌වකීය ආහාර රටාව නිවැරදිව සකස්‌ කර ගත් නිසා ඔවුන් හෘද රෝග, දියවැඩියාව, පිළිකා, කොලෙස්‌ට්‍රොල් නොහොත් අධික මේදය රුධිර පීඩනය වැනි රෝගාබාධවලට ගොදුරු නොවිණි. වර්තමානයේ රෝහල්වලත්, වෙනත් වෛද්‍ය මධ්‍යස්‌ථානවලත් වැඩි වශයෙන් පෝලිම් ගැසී සිටින්නේ ඉහත සඳහන් රෝගීන් බව පෙනෙයි.

'ආරොග්‍යා පරමා ලාභා' - නීරෝගීකම පරම ලාභයයි

ඔබේ වකුගඩු පරිස්සම් කර ගන්න රෝග ලක්ෂණ මතුවන්නේ 80% අක්‍රිය වූ පසුවයි

වකුගඩු යනු කුමක්ද එහි වැදගත්කම හා ක්‍රියාකාරීත්වය පිළිබඳව පැහැදිලි කර දෙන්න.
සාමාන්‍යයෙන් ඕනෑම පුද්ගලයෙකුට වකුගඩු යුගලක් හිමියි. මෙය පිහිටා ඇත්තේ මිනිස් සිරුරක පිට පැත්තට වන්නටයි. මෙමඟින් මුත්‍රා නිපදවීම මූලික වශයෙන් සිදුකරනු ලබන අතර එසේ නිපදවූ මුත්‍රා, මුත්‍රා වාහිනිය ඔස්සේ මුත්‍රාශය වෙත ගමන් කරයි. මුත්‍රාශය මඟින් මුත්‍රා රඳවා තබා ගනියි.
මෙම වකුගඩුවල සියුම් නාල රාශියක් පිහිටා ඇත. මෙම නහරවලින් මුත්‍රා පෙරෙන ක්‍රියාවලිය සිදු කරයි. මෙය සාමාන්‍යයෙන් පූනීලයක හැඩය ගනු ලබයි. මේ පුනීලය තුළින් අපද්‍රව්‍ය සහ අනෙකුත් ද්‍රව්‍ය පෙරීමක් සිදුවේ.
මුත්‍රා නිපදවීමට අමතරව වකුගඩු මඟින් කාර්යන් කිහිපයක් ඉටු කරනු ලබයි. ඒ අතර මුත්‍රාත් සමඟ එදිනෙදා ශරීරයේ නිපදවන අපද්‍රව්‍ය පිටකිරීම පළමුවන කාර්ය වන අතර දෙවැන්න වනුයේ ශරීරයේ එකතුවන ලවණ සහ ජලය අනවශ්‍ය ප්‍රමාණය ඉවත් කිරීමයි. තෙවන හේතුව වනුයේ ශරීරයේ අම්ලකර ද්‍රව්‍ය (ඇසිඩ් වර්ග) ශරීරයේ නිතර එකතුවන අතර ඊට හේතු වන්නේ අප ගන්නා ආහාර, රසායනික ප්‍රතික්‍රියා මඟින් අම්ලකර ස්භාවය වැඩිවීමයි.
කෙසේ වෙතත් මෙම අම්ලකර ගතිය වැඩි වීමෙන් එය ශරීරයට අහිතකර විය හැකියි. හතරවැනි හේතුව වනුයේ ශරීරය මඟින් නිපදවන නොයෙකුත් හොර්මෝන වර්ග වකුගඩු වලින් නිපදවීමයි. මීට උදාහරණයක් ලෙස රීනින් හෝර්මෝනය පිළිබඳ හඳුන්වාදිය හැකියි. මෙමඟින් රුධිර පීඩනය නියත මට්ටමක පවත්වා ගෙන යයි. මෙය නිසි ආකාරව නොතිබුණොත් රුධිර පීඩනය අඩු හෝ වැඩි විය හැකියි.
එරිත්ත්‍රො පොයටීන් යනු දෙවන හොර්මෝන වර්ගයයි. ඇට මිදුළුවල ලේ නිෂ්පාදනය වීමට පණිවිඩ ලබාදීම මෙහි කාර්යයි. ඒ අනුව වකුගඩුවල ගැටලුවක් ඇතිවිට මෙම හොර්මෝන නිපදවීමටද ගැටලු ඇතිවේ. තවද විටමින් D ශරීරයට අවශ්‍ය ලෙස සකසන්නේද වකුගඩු මඟිනි. මෙහි ප්‍රශ්න ඇති වුවොත් අස්ථි දුර්වලව යා හැකියි.
▬▬▬▬ වකුගඩු ක්‍රියාකාරීත්වය අඩු වුණොත් සිදුවන දේ
ශරීරයේ නිපදවන අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර නොකළොත් රුධිරයේ එකතු වේ. දෙවැනි ගැටලුව වන්නේ ජලය ශරීරය තුළ එකතුවීමයි. ඒ වගේම පෙනහලු තුළද ජලය එකතු වීමටද හැකිය. ඒ නිසා එවැනි අයෙකුට හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවිය හැකියි. තවත් අහිතකර බලපෑමක් ලෙස ශරීරයේ අම්ලකර ස්වභාවය වැඩිවිය හැකියි.
රුධිර පීඩනය වගේම රුධිර ඌනතා ද ඇතිවේ. තවද අස්ථි දුර්වල වීමට හැකියි. ලොව වැඩිහිටි ජනග්‍රහනයෙන් යම්තාක් දුරකට 10% කට පමණ වකුගඩු රෝග අවදානමක් ඇත. වකුගඩු රෝගවල බරපතළකම වන්නේ 80% ක පමණ ප්‍රමාණයක් වකුගඩුවට හානි සිදුවූ පසුව පමණක් රෝග ලක්ෂණ පෙන්නුම් කරනු ලැබීමයි. එමෙන්ම තවත් වැදගත් කරුණක් වන්නේ වකුගඩුව හා හෘදය අතර සම්බන්ධතාවක් පැවතීමයි. ඒ අනුව වකුගඩුවට 50% ක් පමණ බලපෑම් එල්ල වුවොත් එය හෘදයටද හොඳ තත්ත්වයක් ලෙස නොසැලකේ.
▬▬▬▬ කුමන හේතු නිසා වකුගඩු රෝග ඇතිවේද?
මෙය ආකාර දෙකකි. එනම් පළමු අවස්ථාව ලෙස ක්ෂණිකව වකුගඩුව ක්‍රියාවිරහිත වීමට හැකි අතර දෙවැනි අවස්ථාව ලෙස දීර්ඝ කාලීනව වකුගඩු ක්‍රියාවිරහිත වීම පිළිබඳ කතාබහ කළ හැකියි. මින් පළමුවැන්න තීව්‍ර වකුගඩු අකරණීය ලෙස හැඳින් වේ. දෙවැන්න දීර්ඝකාලීන හෙවත් නිධන්ගත වකුගඩු අකරණීය ලෙසින් හැඳින්වේ. මින් පළමු වර්ගයේදී පැය ගණනක් තුළ වකුගඩු ක්‍රියාවිහිත වීමක් සිදුවන අතර නැවත වරක් වකුගඩු ක්‍රියාකාරීවීමටද මෙහිදී හැකියාවක් ද තිබේ.
එහිදී ඇතැම්විට සති දෙක තුනක් තුළ වකුගඩු ක්‍රියාවිරහිත වී තිබී නැවත සුවවිය හැකි වුවත් එම සති කිහිපයේදී එය රෝගියාව ජීවත් කරවීම ඉතා වැදගත්වන්නේ එහිදී වකුගඩු ක්‍රියාකාරීත්වය ඇණ හිට තිබෙන නිසාවෙනි.
මෙම තීව්‍ර වකුගඩු අකර්මන්‍ය වීමට හේතුවන්නේ මී උණ,ඩෙංගු මැලේරියාව වැනි මදුරුවන්ගෙන් බෝවන රෝග, සර්පවිෂ (විශේෂයෙන් නයි හෝ පොළොන් විෂ) වේදනා නාශක (පැරසිටමෝල් ඇස්පී‍්‍රන් ඉන් අදහස් නොවේ) විශේෂයෙන් හන්දිපත් රුදාවට භාවිතා කරන පෙති ගැනීමේදී ඉතා පරිස්සම් විය යුතුයි.
තවද කෘමි නාශක හා වල්නාශක ද මීට හේතු වේ. කපුරු බෝල අහාරයට ගත්විට ඇගේ ලේ නහරවලට මෙමඟින් බලපෑම් එල්ලවිය හැකි අතර ඒ නිසා වකුගඩු ද නරක් වේ. තවත් දුර්ලබ හේතුවක් ලෙස වාහන සිසිල් කරණය සඳහා යොදාගන්නා රසායනික හිතාමතා පානය මඟින්ද වකුගඩු අකර්මන්‍ය කිරීමට ඉඩ ඇත. මෙවැනි රෝගීන්ගේ කෙටිකාලීනව වකුගඩු අකර්මනය වන අතර එම කාලය තුළ වකුගඩුවල කාර්ය සිදු කරන්නේ කාන්දු කරණය මඟිනි.
මීට අමතරව දිර්ඝකාලීන වකුගඩු අකරණීයේදී ඊට බලපාන හේතු පහත ආකාරයි. ඒ අතර බහුලම හේතුව වන්නේ දියවැඩියාවයි. දියවැඩියාව අවුරුදු 10ක් 15 ක් තිබෙන විට ක්‍රම ක්‍රමයෙන් එය වකුගඩු ක්‍රියාකාරීත්වයට බලපෑම් ඇතිකරවයි. මෙය නගරබද හෝ ගම්බද වෙනසකින් තොරව ඇතිවේ.
දෙවැනි හේතුව වනුයේ අධික රුධිර පීඩනයයි. තෙවන හේතුව ලංකාවේ උතුරුමැද පළාතේ පුද්ලයන්ට ඇතිවන වකුගඩු රෝග ද දීර්ඝකාලීන වකුගඩු අකර්මන්‍ය කරන අතර ඊට නිෂ්චිත හේතුවක් තවමත් සොයාගෙන නොමැත. ඌව සහ වයඹ යන පළාත්වලද මේ තත්ත්වය දැකගත හැකිවීමද විශේෂිතයි.
මුත්‍රාවලින් වකුගඩු තුළට විෂබීජයක් ඇතුල්වීමෙන් වකුගඩු වලට බලපෑමක් ඇතිවීමෙන් දිගුකාලීනව වකුගඩු අකර්මණය විය හැකියි. මෙය කුඩා දරුවන් සම්බන්ධයෙන් ඉතා වැදගත් වන අතර කුඩා දරුවෙකුට මුත්‍රා ආසාදන ඇති වූ විට කිසිසේත් නොසලකා සිටිය නොයුතුයි.
විශේෂයෙන් වයස අවුරුදු 12 ට අඩු ළමුන් මීට ඇතුළත්ය. මෙහිදී වකුගඩු ක්‍රම ක්‍රමයෙන් හානි ඇති වී අවසානයේදී වකුගඩුව හැකිලී යන මට්ටමට පැමිණිය හැකියි. ඔවුන් වැඩිහිටියන් බවට පත් වූ විට මෙය හඳුනාගත හැකියි. තවත් හේතුවක් ලෙස ශරීරය විසින්ම ශරීරයට විරුද්ධව නිකුත්වන ප්‍රතිදේහ මීට හේතු වේ. ඒ අනුව මෙම ප්‍රතිදේහ මඟින් තමන්ගේ ශරීරයේ අවයව වලටත් හානියක් ඇතිවිය හැකියි. මීට අමතරව ප්‍රවේණියෙන් පැමිණෙන වකුගඩු රෝග තිබෙන අතර එය වර්ධනයවීම පමණක් අවමකර ගතහැකියි. පුරස්ථි ග්‍රන්ථියේ ප්‍රශ්නද මීට හේතු වීමට ඉඩ ඇත.
මෙය ඉතා සෙමින් සිදුවන අතර එමඟින් ඇතිවන හානිය නැවත යථා තත්ත්වයට පත්කිරීමටද නොහැකි වේ. මේවා හඳුනා ගැනීම අපහසු නිසා වකුගඩුව ආරක්ෂාකර ගැනීම අනිවාර්යෙන් සිදු කළ යුතුයි. කිසිදු රෝග ලක්ෂණයක් නොමැතිව 80%ක් පමණ වකුගඩුව නරක් වීමට ඉඩකඩක් ඇත.
ඒ නිසා සෑම වැඩිහිටියෙක්ම වසරකට වරක් තමාගේ වකුගඩුවල ක්‍රියාකාරීත්වය පරීක්ෂා කර බැලිය යුතුයි.
▬▬▬▬ වකුගඩු රෝග වලදී දැකිය හැකි රෝග ලක්ෂණ මොනවාද?
මෙවැනි අයගේ රුධිර පීඩනය ඉහළ අගයක් ගන්නා අතර හිස කැක්කුම, ක්ලාන්තය පමණක් නොව ආඝාතමය තත්ත්වයන්ටද පුද්ගලයා ගොදුරු විය හැකියි. මේවා දීර්ඝකාලීන වකුගඩු අකර්මණ්‍ය වීමකදී දැකගත හැකියි. ඒ වගේම වකුගඩු රෝගයකදී දැකිය හැකි ප්‍රධාන ලක්ෂණය නම් මුත්‍රා සමඟ ප්‍රේටීන් පිටවීමයි. ප්‍රෝටීන් වැඩිබව හඳුනා ගත හැක්කේ මුත්‍රා සමඟ ප්‍රෝටීන් පිටවන බවයි. ඒ වගේම වැඩිපුර මුත්‍රා පිටවීමද මෙහි ලක්ෂණයක්. (දියවැඩියාව රෝගීන්ටද ජලය වැඩිපුර පානය කරන අයටද මෙසේ වීම සාමාන්‍යයි) හතිය වැඩිවීම, කකුල් ඉදිමීම ඇස් ඉදිමීම ආදී රෝග ලක්ෂණද මෙහි දී දැකගත හැකියි.
මෙම වකුගඩු රෝගවලින් 90%ක් පමණ වැළැක්විය හැකි රෝගවන අතර මේ සඳහා පියවර කිහිපයක් පවතී. මෙය හඳුනා ගත හැකි පරීක්ෂණ ලෙස මයික්‍රො ඇල්බියුමින් මුත්‍රා සමඟ පිටවන බව දැනගත හැකියි. දෙවනුව රුධිර පීඩනය බලා ගත යුතු අතර තෙවනුව පරීක්ෂණ ලෙස ක්‍රියටනින් පරීක්ෂණය හඳුන්වා දිය හැකියි.
මෙම පරීක්ෂණ තුන එනම් මුත්‍රා සමඟ ප්‍රෝටීන් පිටවනවා ද දැන ගන්නා පරීක්ෂණය, රුධිර පීඩනය හා ක්‍රියටනින් පරීක්ෂාව එතරම් වයස, ගතවන තුරු නොසිට කරනවා නම් වඩාත් නුවණට හුරුය. විශේෂයෙන් තමාගේ පවුලේ අයට වකුගඩු රෝග, දියවැඩියාව හෝ අධික රුධිර පීඩනය තිබෙනවා නම් අනිවාර්යෙන්ම වකුගඩු පරීක්ෂා කළ යුතුයි.
යම් සේ වකුගඩුවක් නරක් වූ විට කිසිදු දෙයක් කිරීමට නොහැකි වන අතර මේ කාර්ය යන්ත්‍රනයක් මඟින් සිදුකරන අතර මෙසේ කළ යුතු වන්නේ වකුගඩුවක් බද්ධ කරන තුරු පමණි. මෙහිදී රුධිර පීඩනය, දියවැඩියාව කොලෙස්ටරෝල් ආදී දේ පිළිබඳ නිතර සැලකිලිමත් විය යුතුයි.
ඒ වගේම ලුණු අධිකව පරිභෝජනය කරන අයට වකුගඩු රෝගයක් තිබෙනවා නම් එය වර්ධනය වීමේ ඉඩකඩ වැඩි කරන බවද සොයාගෙන ඇත. දුම්පානය, ව්‍යායාම මදකම අතර තරබාරුකමද ඊට හේතුවක්. වකුගඩු රෝග තිබෙන අය ඖෂධ විශේෂයෙන් වේදනා නාශක ගැනීමේදී ප්‍රවේසම් විය යුතුයි. වකුගඩු රෝග තිබෙන අයට ප්‍රෝටීන් බහුල ආහාර සුදුසු නැත.
ඉන් අදහස් වන්නේ මුළුමනින්ම ප්‍රෝටීන් නතර නොකළ යුතු බවයි.
තවද වකුගඩු රෝග තිබෙන අයට පොටෑසියම් ද අහිතකරයි. පොටෑසියම් යනු ලවණයක් වන අතර පොටෑසියම් බහුල ආහාර ලෙස කෙසෙල්, අලිගැටපේර, මුද්දරප්පලම්, රටඉඳි වැනි වියළන ලද පලතුරු, අඹ, තැඹිලි , දොඩම්, බතල, මඤ්ඤොක්කා ආදිය හඳුන්වා දිය හැකියි.

– නුවන්ති කුලරත්න
(මුදුන මුහුණු පොතෙනි )

අන්තර්ජාලයෙන් උපුටා ගැනීමක්
free counters